Skip to main content

චිත්‍ර කලාවට අධිපති විශ්වකර්‍ම දිව්‍යපුත්‍රයා

 



                           සිරිලක් දෙරණෙහි ප්‍රෞඪ වූ අභිමානය මුළු මහත් ලෝකයටම මනාව විෂද කරලන අපේ දේශීය කලා නිර්මාණයන් වනාහි, අපේ මුතුන් මිත්තන්ගෙන් අපි ලද මහාඅනර්ඝ වූ අමිල දායාදයකි. ථෙරවාදී බුදු දහමෙහි කේන්ද්‍රස්ථානය සේම බෞද්ධ කලා කෝෂ්ඨාගාරයක් ලෙසට ද දුරාතීතයේ පටන්ම සිරිලක් මාතාව සෙසු රටවල් අතරෙහි අදට ද දිදුලන්නීය.

                    මහින්දාගමනයත් සමඟම සම්බුදු දහමෙහි පහසින් ආධ්‍යාත්මය නිවා සනහාගත් ලක්වාසීහු දුමින්දාගමනයේ දී මෙරටට සපැමිණි ශ්‍රේණි 18 ක ශිල්පීන් හා සබැඳී හිඳ නෙත්, සිත් පහන් සුපහන් කරලන අද්විතීය කලා නිර්මාණයන් ද සිදු කළහ. අනුරපුර, පොළොන්නරුව වැනි පෞරාණික පූජ්‍යස්ථානයන්හි අදටද එකී කලා නිර්මාණ වල සුන්දර බව, අභිමානවත් බව ශේෂවී ඇත. නීල අහස් ඉම කරා උස්ව නැඟී ගත් මහා දාගැබ්, මහා සමුදුරු පරයන සරැලි දියරැලි නංවන මහාවාපි,අනූපමේය වූ මහා කරුණා, මහා ප්‍රඥා ගුණ දහරාවන්, මූර්තිමත් කරමින්, අජීවී කලුගලට පණ පොවා තැනූ ශෛලමය මහා බුද්ධ ප්‍රතිමාද ඊට කදිම නිදසුන් ය.

 
                     මෙම මාහැඟි කලා නිර්මාණයන් සිදු කළේ සාමාන්‍ය මිනිසකු නොව අදිසි බලවේගයක මෙහෙයවීමෙන් බව හෙළ ජන විශ්වාසයයි. ඒ බලවේගය අන් කිසිවකුත් නොව “විශ්ව කර්ම දේව පුත්‍රයා” සතුය. මොහු වටා පබැඳි ජනප්‍රවාද, මිථ්‍යා කථා බොහොමයකි. ඒ පිළිබඳව අපි යම් පමණකට හෝ මෙහිදී විමසා බලමු.

                                           විශ්වකර්ම ගැන ඉතිහාස කථාවන් භාරතයේ පැවති වෛදික සමය දක්වා දිවෙයි. වේද යුගයේ විසූ මානවයා සිය මනැසට නැණසට ගෝචර නොවන, සංකීර්ණ වූ සිද්ධීන් හා සොබාදහමේ පවත්නා චමත්කාර ජනක වස්තූන්ටද දේවත්වයක් ආරෝපණය කර තිබිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ‘චන්ද්‍ර - සූර්ය – අග්නි – වායු..’ වැනි දේව පිරිස් බිහිවූ අතරම, මානව පැවැත්මට ඉවහල් වන්නා වූ වස්තූන් මවාලන දෙවියකු සිටින බවත්, හේ නමින් *‘විශ්ව කර්ම’* වගත් ඔවුහු එදවසදී පිළිගත්හ.

                                      මෙම විශ්වකර්ම දෙවියාගේ පියා *‘ප්‍රභාෂ’* වූ අතර මව *‘යෝගල සිද්ධා’* ය. ඔහුට *‘සඳා හා විශ්වරූප’* ලෙස දරුවන් දෙදෙනෙකු විය. *‘අග්නි පුරාණයෙහි’* සඳහන් වන පරිදි තාක්‍ෂණික ක්‍රමවේද හා මිනිසුන් දහසකගේ බලයක් ද මොහු සතු ය. මෙම දෙව් පුතු විසින් ලෝකයට දායාද කළ දෑ, අතර, ගෘහ නිර්මාණ ශිල්පය, යාන්ත්‍රික විද්‍යාවද ප්‍රධාන වේ. ලොව වසනා, ලොව රක්නා සෑම සියලු දෙවියකුගේම අබරණ, ආයුධ සහ රථවාහන ද නිමැවූවේ විශ්ව කර්ම විසිනි. තවද *‘රාමායාණයෙහි’* දැක්වෙන පරිදි සර්වඥ වූ සර්වතෝභද්‍ර වූ මහා බ්‍රහ්මගේ ආඥාව මත විශ්ව කර්ම විසින් රාක්ෂයන් උදෙසා *‘ලංකා පුරය’* නිර්මාණය කර ඇත. අනතුරුව ලංකාව හා දඹදිව එකිනෙකට යා කරමින් *වානරයකු ලවා පාලමක් ද තනා ඇත.*
  
                          මෙවැනි නිර්මාණ රැසකට දායකත්වය නොමසුරුව ලබා දුන් විශ්වකර්ම, වෛදික දේව නාමාවලියෙන් මිදී බුදු දහම හා සබැඳි ගෙන බෞද්ධ දේව නාමාවලියටද *‘විස්ස කම්ම දේව පුත්ත’* යන නාමයෙන් පසු කාලීනව එකතු විය. බුදු දහමටත්, තිලෝගුරු සම්මා සම්බුදුරදුන්ටත් සිය සේවාව නිරතුරුව, නිබඳවම සැපයීම සඳහා ඇප වී කැපවී ක්‍රියා කළ විශ්ව කර්ම දෙවි පුතුව බෞද්ධ සාහිත්‍යයෙහි එන විවිධ අවස්ථාවන් සමඟද සම්බන්ධ කර ඇත. එවැනි අවස්ථා වලට නිදසුන් කීපයක් පහත දැක්වේ. එනම්,

*▪දීඝනිකාය – මහා සුදස්සන සුතුර, “විස්කම් දෙවිඳුන්” විසින් මහා සුදස්සන නමැති චක්‍රවර්තී රජුට “ධම්ම” නමින් මහා ප්‍රාසාදයක් ඉදිකර දී ඇත.*

*▪️බුදුරදුන් තමන් වහන්සේ සතු වූ මහා කෘතවේදී ගුණය ලොවට පිළිබිඹු කරමින් මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කිරීම සඳහා තාවතිංසයට වැඩියහ. බුදුරදුන් තව්තිසාවෙන් නික්මී යළිත් සංකස්ස නුවරට වැඩම කිරීමේ දී ඒ සඳහා රනින් නිම කළ හිනි පෙළ තුනක් පිදුවේද විශ්ව කර්ම දෙව් පුතු ය.*

*▪️දෙවියන්ගේ සැක දුරු කරනු වස් බුදුරදුන් යමා මහ පෙළහර පාන විටදී ගන්ඩබ්බ රුක් මුල්හි රුවන් මණ්ඩපයක් ද කරවීම.* 

*▪️ජාතක කථා විමසා බලන කල්හිදී අප මහා බෝසතුන් හට පෙර භව වලදී අසපු හා ආවාස තනාදීමට ද මොහු ඉදිරිපත් වීය. ඒ වග ‘සුතසෝම, තේමිය, කුද්දාල’ වැනි ජාතක කතාවලින් ද පැහැදිලි වේ.*



        මෙම සාධකයන්ගෙන් ගම්‍ය වන්නේ විශ්වකර්ම දෙවිඳු බුදු සිරිත සමඟද සහ සම්බන්ධව සිටි බවයි. මොහු පිළිබඳව පවත්නා විශ්වාසයන් භාරතයටම සීමා නොවී, කාලයා ඇවෑමෙන් ලංකාවෙහි ද මුල් බැස ගත්හ. මහාවංසයෙහි එන රුවන්වැලි සෑ ප්‍රතිෂ්ඨාපනය හා බැඳි විවරණය තුළ ද මොහුගේ ශ්‍රී නාමය සඳහන්ව ඇත. රුවන්වැලි මහා සෑයෙහි නිදන් කිරීම සඳහා වැඩමවා ලූ සර්වඥ ධාතු එහි තැන්පත් කරනතුරු, ඒවා ආරක්‍ෂා කිරීම සඳහා වෙනම මණ්ඩපයක් කරවූයේ ද මොහු විසිනි. *මෙම දාගැබ තැනීමට ප්‍රථම රජතුමා , " ' ඔබ මෙම චෛත්‍ය ගොඩ නගන්නට අදහස් කරන්නේ කවර හැඩහුරු කමින්දැයි ප්‍රධාන උළුවඩුවකු විචාල විට එය භාරව සිටි ශිල්පියාගේ ශරීරය තුළට ඇතුළු වූ විශ්වකර්ම ඔහුට ආවේශ වූ බව කියා තිබේ. එම උළු වඩු තෙමේ රන් තලියකට දිය පුරවා තම අල්ලට දිය ටිකක් ගෙන එය බදුනට ගැසුයේය . ,' පළිගු ගුලියන් වැනි දිය බුබුලක් නැඟිණි. එවිට හෙතෙම , මම මෙපරිද්දෙන් එය [ සෑය ] සාදමියි කී යේය. රජු මෙයින් ප්‍රීතියට පත්ව අගනා තෑගි බෝග රැසක් ප්‍රධානය කළහ.* එකී නිර්මාණ ක්‍රියාවලිය සියතින්ම කළවග හෙළ ජන විශ්වාසයයි. එපමණක්ද නොව අදටත් අප නෙත්, සිත් අමන්දානන්දයට පත් කරලන විශ්මිත කලා නිර්මාණයන් දුටු සැණින් අප මුවට නිරායාසයෙන්ම නැඟෙන වදන් වැල වන්නේ අනෙකක් නොව *‘මෙය නම් විශ්ව කර්ම වැඩක්’ බවයි'* මෙවැනි බොහෝ කථාංග භාරතීය සාහිත්‍යයෙන්ද ගෙන හැර දැක්විය හැක . 



කම්මාලර්වරුන්ගේ දේව කථානුගත ආදි පුරුෂයා වශයෙන් ඉහත සඳහන් කරන ලද විශ්වකර්‍ම වනාහි කලා ශිල්ප පිළිබඳ අනුග්‍රාහක දෙවියාය , විශ්වයේ අති විශිෂ්ඨ ශිල්පියාය . *දෙවියන්ගේ ගෘහ නිර්මාණ ශිල්පියාය . ගෘහ නිර්මාණ ශිල්පිය හා ශිල්ප විද්‍යාව හෙවත් ස්ථපත්‍ය වේදය ලොවට ප්‍රකාශ කරන ලද්දේ ඔහු විසිනි.* , හෙතෙම මහා භාරතයේ මෙලෙස විස්තර කරයි . *" කලාවන්හි නායකයා , දෙවියන්ගේ තක්ශකයාය , ආභරණ නිර්මාපකයාය , දෙවියන්ගේ දිව්‍ය රථ නිමවන ලද්දේ ඔහු විසිනි , ඔහුගේ කර්මාන්ත වලින් මිනිසුන් යැපෙති.* මහේශාක්‍ය , අමරණීය දෙවියකු වූ හෙතෙම ඔවුන් විසින් නිබඳ පූජා කැරිණි. හෙතෙම *කාරු* [ කාර්මිකයා ] , *තක්ශක* [ දැව කපන්නා ] , *දේවවර්ධික* [ දෙවියන්ගේ ගෘහ නිර්මාපකයා ] යන නම් වලින් භාරතයේ හැදින්වේ .   

                             භාරතීය කාර්මිකයා , තම ශිල්පය වූ කලී *පරම්පරා ගණනක් පුරා ඒකීභූත වූ දැනුමක් නොව විශ්වකර්‍මයාගේ දිව්‍යමය බලයෙන් උපන්නක් බවත්, ඔහු විසින් ප්‍රකාශ කැරැන්නක් බව සිතයි .* භාරතීය කලාකරුවන්ට විශ්වාසය තැබිමට උගන්වන දෙව් හඩක් මෙන් ඇසෙන අභ්‍යන්තරික බලය විශ්වකර්‍ම නිසා පහල වන්නක් බව සිතනු ලැබේ . 

                 සංස්කෘත බසින් රචිත *‘රූපාවලියෙහි’* එන විවරණයන්ට අනුව *මොහුට මුහුණු 05 කි, හිසෙහි දිග් වූ ඔටුන්නකි, ගෙල වටා නාගයකු ද සිටී. පොතක් , පන්හිදක් , කඩුවක් , වෑයක් , සිදරමක් , කුසලනයක් , දිය කළයක් හා නවගුණ වැලක් දැරූ අත් දහයකින් හා අලංකාර වස්ත්‍රාභරණයෙන් ද විශ්වකර්‍ම දේවරූපය අලංකාර කර ඇත. වාහනය වූයේ ගවයායි.* 

                          සමන් – විෂ්ණු වැනි දෙවිවරු හා සමානව *පුද පූජා බොහොමයකින් පිදුම් නොලැබූවද,* විශ්වකර්ම වටා කේන්ද්‍රගත වූ පූජා චාරිත්‍ර කීපයක් ලක් සමාජය තුළ දක්නට ලැබේ. විහාරාරාමයන්හි *ප්‍රතිමා නෙලීමක් හෝ යම් කලා නිර්මාණයක් කරනු ලැබූ ශිල්පියා විසින්ම මෙම දෙවිපුතුට ද පූජාවක් පවත්වනු ලැබේ.* එම ශිල්පියා සිය පෞද්ගලික වියදමින්ම එම විහාරයෙහි විශේෂ ස්ථානයක් තෝරාගෙන, එතැන විශ්ව කර්ම දේව රූපය නෙලීම හෝ චිත්‍රයට නැඟීම කරනු ලැබේ. මෙම පූජාවෙන් අපේක්‍ෂා කරනුයේ. *විශ්ව කර්ම දෙවියන්ට භක්ති ප්‍රණාම දැක්වීම .ස්වකීය නිර්මාණ කෞෂල්‍යයට එල්ල විය හැකි ඇස් වහ, කට වහ දුරු කර ගැනීම. , එම විහාරයෙහිත්, එකී නිර්මාණකරුවාගේත්, ආරක්‍ෂාව තහවුරු කිරීම යනාදියයි.*

                               තවද කලාකරුවාට එල්ලවිය හැකි බාධක උපද්‍රව හා ග්‍රහ අපල වලින් ආරක්‍ෂා වීම සඳහාත්, ආශිර්වාදය ලබා ගැනීම සඳහාත් විස්කම් බලිය නම් වූ යාතු කර්මයක් ද හෙළයින් පුරාණයේ සිට සිදු කළහ. මෙම යාගය පවත්වන්නේ ද නිර්මාණ ශිල්පියා විසින් තැනූ විස්කම් දෙව්රුව ඉදිරිපිටදී ය.


            (විශ්වකර්‍ම දේව බලිය)


                                 ඉදිකොට නිමවූ ගොඩනැගිල්ලක් කැප කිරීම හා ආරක්ෂාව සඳහා අවශ්‍ය මංගල්‍ය හා පුද පූජා විස්තර කර අවසානයේ දී කාර්මිකයා හා කට්ටඩියා *" දොරකඩින් පැනීම "* අවශ්‍යය . මේ කටයුත්ත සම්බන්ධව ගීත පමණක් නොව ශුභ මන්ත්‍රද දැක්වෙන මුද්‍රිත පොතක් තිබේ. *"උළුවහු පැනීම"* නම් මෙම පොත මෙවැනි අන්‍ය ග්‍රන්ථ අනුගමනය කරන්නේ, ප්‍රස්තුත කාරණයේ උප්පත්තිය, එනම් දේව කථානුගත මහා සම්මත අවධියේ දී විශ්වකර්‍ම විසින් කලා ශිල්ප හා වාස්තු විද්‍යාව ලොවට ප්‍රකාශ කිරීම ,ගැන සඳහන් කොට ශුභ මන්ත්‍ර වලින් අවසන් වේ. 

                                           භාරතයෙන් ලාංකීයයන්ට උරුම වූ දෑ අතරින් විශ්වකර්ම දෙවියන් ගැන වූ විශ්වාසයද එකකි. අපේකමත් ජාතික අනන්‍යතාවයත් ලෝකයටම මූර්තිමත් කරලන ලාංකීය බෞද්ධ කලා නිර්මාණ වටා මෙවැනි විශ්වාසයන් සමුදායක්ම සබැඳීගෙන තිබුණද, ඉන් අපේ ලාංකීය කලා නිර්මාණ කරුවා සතු මනා සංයමයත්, ශික්‍ෂණයත්, අසම සම වූ කලා කෞෂල්‍යයත් නිරතුරුවම එම නිර්මාණයන් වෙතින් මූර්තිමත් වන බැව් අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතු ය. ඉදින්... කලුගලට පණපොවා බුදු කරුණාව සියුම්වම නිරූපණය කරන බුදු පිළිමද, සුදෝසුදු පැහැයෙන් උස් අහස තෙක් පැන නැඟී මහා දාගැබ්ද, සාරකෙත් අස්වද්දන පිණිස රජරට ස්වයං පෝෂිත කරලමින් මහා වාපිද තැනූ ලාංකීය කලාකරුවාගේ දහදිය, කඳුළු වලට ඔබ අපි අදටත් ගරු කළ යුතු වෙමු.

ඇම්බැක්කේ දේව සුරේන්ද්‍ර මුහන්දිරම් ශිල්පියා විසින් ග්‍රන්ථකරණයන්හි දැක්වෙන ගුණාංගයන්ගෙන් යුක්තව පරිමාණානුකූලව අඳින ලද විශ්වකර්‍ම දේවරූපයක් පහතින් දක්වා ඇත .



 📝HASITHA KELUM | තෙලිතුඩ PAGE*
      
   ආශ්‍රිත ග්‍රන්ථ / ලිපි 
       ▪️මධ්‍යකාලීන සිංහල කලා 
               ආනන්ද කුමාරස්වාමි 
       ▪️බුදුසරණ පුවත්පත 
       ▪️පැරණි හෙළ කලා

Comments

Popular posts from this blog

මහාචාර්ය හාන්දුපැල්පොළ ශ්‍රී පුඤ්ඤරතන නාහිමියන්ගේ ආලේඛ්‍ය සිතුවම

මහාචාර්ය හාන්දුපැල්පොළ ශ්‍රී පුඤ්ඤරතන නාහිමියන්ගේ ආලේඛ්‍ය සිතුවම 1.හැඳින්වීම                   මෙම ආලේඛ්‍ය සිතුවම සඳහා පාදක කොටගෙන ඇත්තේ කුඩා උඩුව නාලන්දා විශ්ව විද්‍යා පීඨයේ නිර්මාතෘ, විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශාධිපතිව වැඩ සිටි රයිගම්, සල්පිටි, හේවාගම්, පස්යොදුන් සිව් කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක රාජකීය පණ්ඩිත අපවත් වී වදාළ මහාචාර්ය ගෞරවාර්භ හාන්දුපැල්පොළ ශ්‍රී පුඤ්ඤරතනාභිධාන නා හිමියන් ගේ ආලේඛ්‍ය සිතුවමයි.     වසර 54 ක ට පෙර එනම් 1967/09/10 වන දින පුරාවිද්‍යා පර්යේෂණ කටයුත්තකට සහභාගි වීම සඳහා එංගලන්තය බලා ගොස් සිටියදී ඇතිවූ හදිසි ආබාධයක් හේතුවෙන් ලන්ඩන් නුවර දී උන් වහන්සේ අපවත් වූ සේක. මෙම අභාවය ඉතිහාසය හා පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ මෙන්ම සංඝ සමාජයට ද සිදු වූ මහා හානියකි. මෙම හදිසි වියෝවෙන් එක් වසරකට පසු පුඤ්ඤරතන නාහිමියන්ගේ ජීවී ප්‍රමාණයේ මෙම ප්‍රතිරූප සිතුවම නාලන්දා විශ්ව විද්‍යාපීඨ බෝධිමළු විහාරස්ථානය ට හිමියන්ට ගෞරවයක් වශයෙන් සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ චිත්‍ර මූර්ති අංශාධිපති ව සි...

George Beven

George Beven was born in 1929 in Negombo, Sri Lanka. While working at the Ceylon Observer as an illustrator and fashion designer, he took night classes at Heywood Art College where he met artist David Paynter. Once Bevan had completed his classes and tutelage under Paynter, he moved to London to attend St. Martin’s School of Art where he studied fashion drawing and illustration. Bevan became a full-time artist at the age of 55, and from there, demand for his work