Skip to main content

මහාචාර්ය හාන්දුපැල්පොළ ශ්‍රී පුඤ්ඤරතන නාහිමියන්ගේ ආලේඛ්‍ය සිතුවම

මහාචාර්ය හාන්දුපැල්පොළ ශ්‍රී පුඤ්ඤරතන නාහිමියන්ගේ ආලේඛ්‍ය සිතුවම


1.හැඳින්වීම 

                 මෙම ආලේඛ්‍ය සිතුවම සඳහා පාදක කොටගෙන ඇත්තේ කුඩා උඩුව නාලන්දා විශ්ව විද්‍යා පීඨයේ නිර්මාතෘ, විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශාධිපතිව වැඩ සිටි රයිගම්, සල්පිටි, හේවාගම්, පස්යොදුන් සිව් කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක රාජකීය පණ්ඩිත අපවත් වී වදාළ මහාචාර්ය ගෞරවාර්භ හාන්දුපැල්පොළ ශ්‍රී පුඤ්ඤරතනාභිධාන නා හිමියන් ගේ ආලේඛ්‍ය සිතුවමයි. 
  
වසර 54 ක ට පෙර එනම් 1967/09/10 වන දින පුරාවිද්‍යා පර්යේෂණ කටයුත්තකට සහභාගි වීම සඳහා එංගලන්තය බලා ගොස් සිටියදී ඇතිවූ හදිසි ආබාධයක් හේතුවෙන් ලන්ඩන් නුවර දී උන් වහන්සේ අපවත් වූ සේක. මෙම අභාවය ඉතිහාසය හා පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ මෙන්ම සංඝ සමාජයට ද සිදු වූ මහා හානියකි. මෙම හදිසි වියෝවෙන් එක් වසරකට පසු පුඤ්ඤරතන නාහිමියන්ගේ ජීවී ප්‍රමාණයේ මෙම ප්‍රතිරූප සිතුවම නාලන්දා විශ්ව විද්‍යාපීඨ බෝධිමළු විහාරස්ථානය ට හිමියන්ට ගෞරවයක් වශයෙන් සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ චිත්‍ර මූර්ති අංශාධිපති ව සිටි චිත්‍රශිල්පී, කලා භූෂණ ප්‍රේමරත්න වනිගතුංග මහතා විසින් තෙල් සායමින් සිතුවම් කොට පරිත්‍යාග කරන ලදී . 


2. සිතුවමට වස්තු විශය වූ හිමියන් ගැන බිඳක් 


1909/5/2 දින හොරණ ප්‍රදේශයේ හාන්දුපැල්පොළ නම් ගමේ දී නාහිමිපාණන් වහන්සේගේ උපත සිදු වී ඇත . හාන්දුපැල්පොළ පදිංචි හෙන්ද්‍රික් දිසානායක මහතා හා පුංචි හාමි කරන්නාගොඩ හාමිනේ යන යුවලට දාව මෙලොව එළිය දිටීය. මීවනපලානේ රජයේ පාසලෙන් මූලික අධ්‍යාපනය හදාරණ ලදී . සොහොයුරන් පස් දෙනෙකු හා එක් සොහොයුරියක් සිට ඇත දාහතර හැවිරිදි දිසානායක කුමරුවා කිඳෙල්පිටිය ධර්ම රාම මහා ස්ථවිර ස්ථවිරයාණන් වහන්සේ හා තලගුණේ ශ්‍රී ධම්මාලෝක නායක හිමිපාණන් ආචාර්ත්වය යටතේ ශ්‍රී පුඤ්ඤරතන නමින් 1923 දී පැවිදි බව ලබාදී 1930 දී මහනුවර මල්වතු විහාරයේ දී උපසම්පදාව ලබා දී ඇත. 1925 සිට 1937 දක්වා කාලය විද්‍යෝදය පිරිවෙනේ ඉගෙනුම ලබා ඇත. 1935 එහි අවසාන විභාගයෙන් සිංහල පාලි සංස්කෘත යන භාෂා ත්‍රිත්වයෙන් හා ධර්ම විනය වැනි විෂයන්ගෙන් ප්‍රමුඛයා වීමෙන් ශ්‍යාමරාජ ත්‍යාගය පවා දිනා ගැනීමට සමත් වී ඇත. පසුව ශ්‍රී ලංකාවේ පුරාණත්වය නැමැති ශාස්ත්‍රීය ග්‍රන්ථය ලිවීමෙන් පණ්ඩිත උපාධිය ලබා ඇත. 1936 දී මහනුවර දී මල්වතු විහාර විහාරික කර්මාචාර්ය ධූරයකට පත් කරනු ලැබූ උන්වහන්සේ 1944 එම කාරක සංඝ සභාව විසින් රයිගම් කෝරළේ ද්විතීය සංඝාධිකරණ නායක පදවියට පත් කරනු ලැබ ඇත . විමර්ශන සහිත ලංකා ඉතිහාසය පොත් පෙළ, ලංකාව හා ලෝකය නැමැති පොත් පෙළ, බුදුසමය පොත් පෙළ හා ලංකාවේ පොළොන්නරු යුගය (ශාස්ත්‍රවේදී උපාධිය සඳහා ඉදිරිපත් කරන ලද නිබන්ධනයකි) වැනි පොත් හා නොයෙක් ශාස්ත්‍රීය සංග්‍රහ වලට ලිපි සපයා ඇත. 

තමන් වහන්සේ උපන් ගමට අධ්‍යාපනික පිබිදීමක් ඇති කරලීම සඳහා 1944 කුඩා උඩුව නාලන්දා පිරිවෙණ ආරම්භ ආරම්භ කරන ලදී. වර්ෂ 1959 තෙක් එහි අධිපති ධුරය උසුලමින් විශ්වවිද්‍යා විද්‍යායතනයක් තත්ත්වයට ගොඩනංවන ලදී. 1960 සිට 1963 දක්වා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අංශ ප්‍රධානී ලෙස වැඩ බලා ඇත. 1966 පටන් එම විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශ ප්‍රධානී ලෙස පත් වූ උන්වහන්සේ අපවත් වන තුරුම එහි කටයුතු කොට ඇත. වාර කිහිපයක්ම ඉන්දියාවට ගොස් ඇති නාහිමියන් වහන්සේ වර්ෂ 1956 බුරුමයේ පවත්වන ලද ධර්ම සංගායනාවට ද ලංකාව නියෝජනය කරමින් සහභාගී වී ඇත. ඉන්දියාව, පාකිස්තානය, ඊජිප්තුව, ග්‍රීසිය, රෝමය, ප්‍රංශය හා ජර්මනිය වැනි රටවල ඉතිහාසය හා පුරාවිද්‍යාව ශාස්ත්‍රීය සම්මේලන, උළෙලවල් හා දේශන රාශියකට උන් වහන්සේ ලංකාව නියෝජනය කොට ඇත.


3. ලෝක කලා ඉතිහාසය තුළ ආලේඛ්‍ය හෙවත් පුද්ගල ප්‍රතිරූප සිතුවම ස්ථානගත වී ඇති ආකාරය 


ප්‍රාග් ඓතිහාසික ජන සමාජයේ සිට වර්තමානය දක්වා මානව රූපය නිරූපණාත්මක විවිධ කලාත්මක හා පාරිහාරික භාණ්ඩ සඳහා නිර්මාණය වන අතර ඒ ශිෂ්ඨාචාර සමාජයන් තුළදී යම් අදහසකට අනුව පුද්ගලික අනන්‍යතාවය පෙන්වීම් මේ මාධ්‍යයක් ලෙස පුද්ගල ප්‍රතිරූපය භාවිතා වන බව දැකිය හැක. රෝම ශිෂ්ඨාචාරය තුල දී මෙන්ම පෙර පුනරුද යුගය ආදී යුගයන් වල මානව උඩුකය රූපය විවිධ ලක්ෂණ පෙන්වමින් චිත්‍ර හා මූර්ති කලා නිර්මාණ වල භාවිතා වූ නමුදු එය කලා ශානරයක් ලෙස සමාජගත වීමේ තත්ත්වය දක්නට නොලැබේ. ආලේඛ්‍ය චිත්‍රය දෘශ්‍ය කලාව තුළ වැදගත් කලා ප්‍රවර්ගයක් ලෙස ගොඩනැගීම ආරම්භ වන්නේ පුනරුද සමයේ ආරම්භක අවධියේ සිටි ලියනාඩෝ ඩාවින්සි, මයිකල් ඈන්ජලෝ හා රෆායෙල් දක්ෂ ආලේඛ්‍ය සිතුවම් ශිල්පීන් වූ අතර ලියනාඩෝ ඩාවින්සි ඇඳි මොනාලිසා නම් කාන්තා උඩු කය ආලේඛ්‍ය ලොව පුරා මහත් ජනාදරයට පත් කෘතියක් වී ඇත. මෙම යුගයේ වූ තවත් සුවිශේෂීතාවක් වන්නේ ග්‍රීක යුගයෙන් වසර ගණනාවකට පසු කාන්තා නග්න ආලේඛ්‍ය ( වීනස් සංකල්පය) නැවත කලා ලොවට පිවිසීමයි. පෙර පැවැති අඳුරු යුග වල හා මෙම යුගයේ ද කලාවේ හැසිරවීමේ ආධිපත්‍ය පල්ලිය සතුව හා වංශාධිපතිවරු සතුව තිබී ඇති බව පෙනේ. එම බලාධිකාරයන් ට යටව සිතුවම්කරණයේ නියැලුණු ශිල්පීන් අතින් නිමැවුණු ආලේඛ්‍ය බොහෝවිට පූජකවරුන්ගේ ආලේඛ්‍යක්, වංශාධිපති වරුන්ගේ ආලේඛ්‍යක් හෝ රජ පවුල්වල ආලේඛ්‍ය සිතුවම් විය. ඉන් පරිබාහිරව ආලේඛ්‍ය සිතුවම් බිහි නොවුණා යැයි සඳහන් කළ නොහැකි අතර එය බොහෝ අතලොස්සක ප්‍රමාණයක් පමණි. 


පශ්චාත් පුනරුද සමයේ මැනරිස්ට් හා බැරොක් යනුවෙන් කලා ක්ෂේත්‍රය තුළ නව්‍ය ව්‍යාපාර ඇති විය. මෙම ව්‍යාපාර තුළ සිතුවම් කරනයෙහි නිරත ශිල්පීන් ගණනාවක්ම ගේම සිතුවම්කරණයේ ප්‍රබල පැතිකඩක් ලෙස ආලේඛ්‍ය පින්තාරුකරණයෙහි නිරත වී ඇත. ඒ අනුව ජාන් වාන් අයික් විසින් අඳින ලද අනෝෆිලිනිගේ ගේ විවාහය යන සිතුවමද , ඇල්බට් ඩියුරේ විසින් අඳින ලද ස්වයං ආලේඛ්‍ය ද , රෙම්බ්‍රාන්ට් විසින් අඳින ලද ව්‍යාපාරික ප්‍රජාව නම් සිතුවම්ද, වෙලාස්කස් විසින් අඳින ලද එවකට සිටි පාප් වහන්සේගේ ආලේඛ්‍ය ද ඉතා වැදගත් ස්ථාන හිමිකරගෙන ඇති සිතුවම්ය. 

දහනව වැනි සියවසෙන් පසුව අඳින ලද පුද්ගල ආලේඛ්‍ය සිතුවම් අතර ශාක් ලුවී ඩේවි විසින් අඳින ලද මැඩම් රෙකාමියර්ගේ ආලේඛ්‍යයද, ගුස්ටාවෝ කූබේ විසින් අඳින ලද සුභ උදෑසනක් කූබේ සිතුවමද , වින්සන්ට් වැන් ගෝහ් විසින් අඳින ලද තැපැල් කරුවාගේ ආලේඛ්‍යයද , ෆ්‍රැන්සිස්කෝ ගෝයා විසින් අඳින ලද ස්පාඤ්ඤ හතරවන චාර්ල්ස් රජ පවුලේ ආලේඛ්‍ය චිත්‍රය ද , ශාක් ලුවී ඩේවිඩ් විසින් අඳින ලද නැපෝලියන් අධඅධිරාජ්‍යයා ගේ ආලේඛ්‍ය සිතුවම ද , ජේම්ස් විස්ලර්ගේ මව නම් ආලේඛ්‍ය සිතුවම ද , එඩ්ගා ඩෙගාගේ කැසට් මෙනවිය නම් ආලේඛ්‍ය සිතුවම ද හෙන්රි මැටීස්ගේ මැඩම් මැටීස් නම් ආලේඛ්‍ය සිතුවම ද හා ගුස්ටාවෝ ක්ලිමිට්ගේ ඇඩෙලාගේ ආලේඛ්‍ය සිතුවම නම් නිර්මාණ ලෝක කලා ක්ෂේත්‍රය තුළ ආලේඛ්‍ය සිතුවමකට ඇති මහිමය කියාපාන කලා නිර්මාණයන් ය.


4. ලංකා කලා ඉතිහාසය තුළ පුද්ගල ප්‍රතිරූපය ස්ථානගත වී ඇති ආකාරය 


ලාංකිකයන්ට වූ අපට අතිශය සම්භාවනීය කලාවක් උරුමව තිබූ බවට සාක්ෂි බොහෝ හමුවේ. ඒ බව අනුරාධපුර සමයේ සීගිරි , හිඳගලද පොළොන්නරු සමයේ තිවංක පිළිමගෙය, ගල් විහාරය, මහියංගනය ධාතු ගර්භයේ වැනි ස්ථානවල ද නුවර යුගයේ දඹුල්ල, මුල්කිරිගල, රිදි විහාරය වැනි විහාර ආරාම වලින් බොහෝ තොරතුරු හෙළි වෙයි. වේ එහෙත් ලාංකීය චිත්‍ර කලාව තුළ පුද්ගල ප්‍රතිරූප ඇඳීමේ හෝ සටහන් කිරීමේ ක්‍රමවේදයක් ගැන කිසිදු සඳහනක් හමු වී නොමැත. ලංකාව ක්‍රිස්තු වර්ෂ 1505 දී පෘතුගීසීන් විසින් ලංකාව යටත් විජිතයක් බවට පත් කර ගන්නා ලදී එතැන් සිට 1948 දක්වා ඔවුන් යටතේ ජීවත්ව සිටින්නට අපට සිදුවී ය එම දීර්ඝ කාල වකවානුව තුළ ඔවුන්ගේ සිරිත් විරිත් සම්ප්‍රධායන් කලා ක්ෂේත්‍ර සංස්කෘතික අංග අප පරිසරයට ගලා යාමක් සිදු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස බටහිර සිතුවම් කලාව ශ්‍රී ලංකාවේ ස්ථානගත විය. යටත් විජිත පාලන කාලය තුළදී අප රට පිළිබඳ තොරතුරු යුරෝපයට වාර්තා කිරීමට ලිපි මෙන්ම සිතුවම් ද ප්‍රයෝජනයට ගෙන ඇත. එම සිතුවම් බටහිර චිත්‍ර ශිල්පීන් විසින් ඇඳ යුරෝපයට යවා ඇත. මෙම බටහිර චිත්‍ර ශිල්පීන් තුළින් ආලේඛ්‍ය සිතුවම් අප රටට උරුම වන්නට ඇතැයි සිතිය හැකි අතර පසුකාලීනව ඔවුන් විසින් කාර්මික විද්‍යාල හා කතෝලික පල්ලිය හරහා යම් විධිමත් ශාස්ත්‍රාලයීය කලා අධ්‍යාපනයක් මෙරට ජනයාට ලබා දී ඇත. 

දහනම වන සියවස් අග භාගයේ පමණ වන විට කොළඹ කේන්ද්‍ර කොට ශාස්ත්‍රාලීය කලා පාසල් ඇති වූ අතර බිපොලයිෆ් සිල්වෙෆ් ගේ ප්‍රධානත්වයෙන් ඇරඹි කොළඹ කලා කවචය ඒ අතර ප්‍රධාන වේ. මේ වන විටත් බිත්ති පෘෂ්ඨය මත නිර්මාණ වෙමින් තිබූ ලාංකික සිතුවම කැන්වසය තුළ තෙල් සායම් මාධ්‍යයෙන් නිර්මාණය වීම ඇරඹේ. මුල් කාලය තුළ බ්‍රිතාන්‍ය නිලධාරීන් හා ඔවුන්ගේ පවුල් සඳහා මෙම ඇකඩමි academy තුළ අධ්‍යාපනය ලැබීමට හැකි වුවත් පසුකාලීනව යුරෝපීය අනුකරණවාදී ලාංකීය ප්‍රභූ පැලැන්තියට එහි දොරටු විවර විය. මෙහි මුල් කාලීනව ශාස්ත්‍රාලීය ප්‍රවණතාවයන්ට නැඹුරුව සිතුවම් නිර්මාණය කළ ලාංකීය ප්‍රභූ පැළැන්තියේ ශිල්පීන් අතර මුදලිඳු අමරසේකර මුදලිඳු ටියුඩර් රාජපක්ෂ ආදීන් හැඳින්විය හැක. මුදලිඳු අමරසේකර යන ඇඳි ආලේඛ්‍ය සිතුවම්අතර ආනන්ද සමරකෝන් , යකැදුරාගේ දියණිය , එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක, තිස්ස රණසිංහ වැනි සිතුවම්ද ටියුඩර් රාජපක්ෂ ගේ ආලේඛ්‍ය අතර නිල් සාරිය සිතුවම කැපී පෙනේ. මෙම සිතුවම් බොහොමයක් වර්තමානය වන විට වනවිට කොළඹ ජාතික කලා භවන සතුව පවතී. එසේම ඩේවිඩ් පේන්ටර්, ජේ.ඩී. ඒ. පෙරේරා, ජෝර්ජ් බෙවන් වැනි ශිල්පීන් ගේද බොහෝ ආලේඛ්‍ය ප්‍රමාණයක් හමුවේ. 

පසුකාලීනව කලාකරුවන් සමූහයක් ලෙස නැගී ආ 43 කණ්ඩායමේ සිටි හැරී පීරිස්, ජෙෆ්රි බිලිං, ජෝර්ජ් ක්ලාසන්, ඔබ්‍රි කොලට්, ජෝර්ජ් කිට් , අයිවන් පීරිස් වැනි ශිල්පීන්ගේ ද ස්ටැන්ලි කිරින්දේ, රිචඩ් ගේබ්‍රියල්, ස්ටැන්ලි අබේසිංහ වැනි ශිල්පීන් ශිල්පීන්ගේ ද ඉතාමත් අලංකාරවත්ව අඳින ලද ආලේඛ්‍ය සිතුවම් හමුවේ. වර්තමානය අවධිය තුළ ලංකාවේ අනුව 90 ප්‍රවණතාවයේ ශිල්පීන් විසින් ලාංකික ආලේඛ්‍ය සිතුවමේ ගමන්මඟ සනිටුවහන් කළ අතර එහි ඉතාම ප්‍රබල චරිතයක් වන්නේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා ය. ඉතාමත් මෑත අවධියේ ලාංකික කාලයක සිතුවම්කරණය අඛණ්ඩව පවත්වාගෙන යන ශිල්පීන් අතර දුමිත් කුලසේකර, අනූප ද සිල්වා, සුනෙත් ප්‍රිය අරවින්ද,සත්සර ඉලංගසිංහ වැනි ශිල්පීන් ඉතා වැදගත් වේ.



5. ශ්‍රී පුඤ්ඤරතන හිමියන්ගේ ප්‍රතිරූප සිතුවම හා එහි කලා ලක්ෂණ 




මෙම පූර්ණ ආලේඛ්‍ය සිතුවම ශ්‍රී පුඤ්ඤරතන නාහිමියන් විසින් මෙරට සමාජයට කරන ලද අධ්‍යාපනික ශාසනික හා මහජන මෙහෙවරට ගෞරවයක් වශයෙන් හිමියන් අපවත්වී එක් වසකට පසුව සිතුවම් කොට ශිල්පියා විසින් ම නාලන්දා පිරිවෙන් බෝධිමලු විහාරස්ථානයට පූජා කොට ඇති සිතුවමකි . මෙහි සිතුවම් ශිල්පියා වන්නේ ප්‍රවීණ චිත්‍ර හා සැලසුම් ශිල්පී සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ චිත්‍ර මූර්ති අංශාධිපති ව සේවය කළ ප්‍රේමරත්න වනිගතුංග මහතා ය. මෙය කැන්වසය මත තෙල් සායමින් ඇඳ ඇති අතර උස අඟල් 60 ක් හා පළල අඟල් 34 වේ. මෙම කෘතියේ වර්ෂය ලෙස සඳහන් වන්නේ 1968 යි මෙම සිතුවම කුඩා උඩුව නාලන්දා විශ්ව විද්‍යාපීඨ බෝධිමලු විහාරස්ථානයේ නායක හිමියන්ගේ කාර්යාලයෙහි ප්‍රදර්ශනයට තබා ඇත. සිතුවමේ දකුණු පස යටදාරයේ ප්‍රේ. වනිගතුංග 1968 ලෙස අත්සන් තබා ඇත .


 මෙම සිතුවම එම යුගයේ පැවති අනෙක් ආලේඛ්‍ය සිතුවම් වලට වඩා වෙනස් වන්නේ එහි ඇති වර්ණ පලත්තය නිසාය. අඳුරෙන් ආලෝකය දැක්වීමේ ක්‍යුරස් ක්‍යුරෝ ශිල්ප ක්‍රමය භාවිතා කරමින් චිත්‍රණය කොට තිබීම විශේෂිතය. මෙම සිතුවම පින්තාරු කිරීමට පෙර මුලින්ම ශිල්පියා විසින් ඩ්‍රෝවින් කර ඇති බව පෙනේ. පසුව ස්ථර හතරක් හෝ පහක් භාවිතා කරමින් වර්ණ පූර්ණය කර ඇත. ඉතාමත් සුමට අයුරින් පින්තාරු කර ඇති මෙම ආලේඛ්‍යයේ පසුබිම සඳහා අඳුරු දුඹුරු පැහැයක් යොදාගෙන ඇති අතර සමස්ත පසුබිම පැතලි ලෙස වර්ණ ගන්වා ඇත. මෙහි ජවි වර්ණය සඳහා ලාංකික ජනයාගේ ස්වභාවික සමෙහි පැහැය වන රතු දුඹුරු පැහැය යොදා ගෙන ඇත. ඒ සඳහා යෙලෝ ඕකර් ,රොව් සියානා , රොව් අම්බර් , වර්මිලියන් රෙඩ් ,බර්න්ට්සියානා, රෝසියානා ,ෆ්ලේක් වයිට් යන වර්ණ යොදා ඇති බව සිතිය හැකිය. චීවරයේ වර්ණය සඳහා ලා දුඹුරු පැහැයකට හුරු ලා කහ පැහැයක් යොදාගෙන තිබේ. එය සඳහාය යෙලෝ ඕකර් , ලෙමන් යෙලෝ , ක්‍රෝම් යෙලෝ ,රෝසියානා හා සින්ක් වයිට් සහ ටයිටේනියම් වයිට් යොදාගෙන ඇති බව සිතිය හැක.

 පැති පෙනුමක් සහිතව සිටගෙන සිටින සේ නිරූපිත ශරීරයේ හිස කොටස පමණක් ඉදිරිය බලා සිටින අයුරකින් නිරූපිතය. දකුණත වැලමිටෙන් නවා සිටින අතර වම් අතේ මැණික් කටුව මත තබාගෙන සිටී දකුණු අතේ ඇඟිලි වලින් වම් අතේ මැණික් කටුව අල්ලා සිටී වම් අතේ ඇඟිලි මගින් චීවරයේ කොටසක් අල්ලාගෙන සිටි. මෙම සිතුවමෙන් නිරූපිත අභිනයන් තුළින් උපශාන්ත බවක් ද ප්‍රතාපවත් බවක් හා ඉතා නිහතමානී බවක් ද ගැබ්වී ඇති අතර එක් අතකින් චීවරයේ කොටසක් අල්ලා සිටීම මගින් උන්වහන්සේ තුළ තිබූ අධිෂ්ඨානශීලී භාවයද අපට පෙනී යයි. මෙහි ශිල්පියාට සමානුපාතික මිනුම් ගැන අවබෝධයක් තිබුණද සමහර තැන් වලදී එය ඔහුගෙන් ගිලිහී ඇත්දැයි අපට සිතේ. ශිල්පියා විසින් මානව හිස්කබල අධ්‍යයනය කරනු ලැබ මෙහි හිස කොටස වර්ණ ගන්නවා ඇත . බැල්ම හෙවත් gaze එක , එක එල්ලේම නරඹන්නා දෙසට යොමු කිරීමට චිත්‍ර ශිල්පියා කටයුතු කර තිබේ. එනම් දෑසින් යම් දෙයක් පවසනවාක් මෙන් සිතුවම ඉදිරිපිටදී මෙය හොදින් දර්ශනය වේ. චීවරය යටින් අඳනය දක්වා නැත. මෙහි දෙව්රම වැසෙන පරිදි චීවරය යොදා ඇත. වම් කකුලට පාවහනක් යොදා ඇති අතර අනෙක් කකුල සිතුවම් කිරීමේදී කැන්වසයෙන් පිට පැන තිබේ. එසේ වී ඇත්තේ කැන්වසයට මෙම ශරීරය යොදාගැනීමේදී වූ සංරචන ක්‍රමවේදයේ යම් අඩුපාඩුවක් නිසා බව අපට පෙනේ. ඒ කෙසේ නමුදු එම කාලයට සාපේක්ෂව ඉතා විශිෂ්ඨ කෘතියක් ලෙස සැලකිය හැකිය. ප්‍රේමරත්න වනිගතුංග ශිල්පියාගේ වෙනත් ආලේඛ්‍ය සිතුවම් ලෙස එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක ආලේඛ්‍ය ( බණ්ඩාරනායක කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත. ) , ඈපා පංචාංග ලිතෙහි අධිපති ඈපා මහතාගේ ආලේඛ්‍ය ( පෞද්ගලික එකතුවක ඇත.) වැදගත් සිතුවම් ලෙස සැලකේ. 



6 . සමාලෝචනය 

ප්‍රේමරත්න වනිගතුංග නම් විශිෂ්ට ශිල්පියා විසින් අඳින ලද මෙය ඔහුගෙ ඉතිරිව ඇති කෘති තුනෙන් එකක් ලෙස සැලකිය සැළකිය හැකිය. ජීව ප්‍රමාණයටම හිමිනමකගේ අඳින ලද ලංකාවේ එකම ආලේඛ්‍ය සිතුවම මෙය වීමට බොහෝ ඉඩ ප්‍රස්ථාව ඇත. බොහෝ දුරට බටහිර කලා සම්ප්‍රදාය පාදක වී ඇතත් ඉන්දියාවේ පිහිටි අජන්තා ගුහා ගුහාවේ අඳින ලද බුදුන් කිඹුල්වත්පුර වැඩීමේ දර්ශනයේ ඇති බුදුන්ගේ සිරුරත් මෙම ආලේඛ්‍ය සිතුවමත් අතර යම්කිසි සමානාත්මතාවයක් මා දකිමි. එම සිතුවමේද දෙවුර වැසෙන පරිදි චීවරය පොරවා ඇත දකුණ අත වැලමිටෙන් නවා ඇත සිරුරේ ඡවි වර්ණය ද බොහෝ දුරට යම්කිසි සමානකමක් දක්වා ඇත. මෙහි පසුපස ඇති අඳුරු පසුබිම පසුබිමට අජන්තා සිතුවමේ පසුබිම මනාවට ගැලපේ . ශිිල්පිය මෙය ඇඳීමට මත්තෙන් අජන්තා සිතුවම් දැක බලා එම සිතුවම මෙයට මූලාශ්‍ර ලෙස යොදා ගන්නට ඇතැයි යන්න බොහෝ දුරට විශ්වාස කළ හැකිය.



7. යොදාගත් මූලාශ්‍ර ; 

පින් රුවන , මහාචාර්ය හාන්දුපැල්පොළ ශ්‍රී පුඤ්ඤරතන නාහිමි 40 වන ගුණසමරු සංග්‍රහය

පේමරත්න වනිගතුංග මහතාගේ ඥාතියෙකු සමග සම්මුඛ සාකච්ඡාව
2021.12.04

කලාවේදී රංග දුශාන්ත මහතා සමග සම්මුඛ සාකච්ඡාව 
2021.12.16  

- හසිත කැළුම් -

Comments

Popular posts from this blog

චිත්‍ර කලාවට අධිපති විශ්වකර්‍ම දිව්‍යපුත්‍රයා

                             සිරිලක් දෙරණෙහි ප්‍රෞඪ වූ අභිමානය මුළු මහත් ලෝකයටම මනාව විෂද කරලන අපේ දේශීය කලා නිර්මාණයන් වනාහි, අපේ මුතුන් මිත්තන්ගෙන් අපි ලද මහාඅනර්ඝ වූ අමිල දායාදයකි. ථෙරවාදී බුදු දහමෙහි කේන්ද්‍රස්ථානය සේම බෞද්ධ කලා කෝෂ්ඨාගාරයක් ලෙසට ද දුරාතීතයේ පටන්ම සිරිලක් මාතාව සෙසු රටවල් අතරෙහි අදට ද දිදුලන්නීය.                     මහින්දාගමනයත් සමඟම සම්බුදු දහමෙහි පහසින් ආධ්‍යාත්මය නිවා සනහාගත් ලක්වාසීහු දුමින්දාගමනයේ දී මෙරටට සපැමිණි ශ්‍රේණි 18 ක ශිල්පීන් හා සබැඳී හිඳ නෙත්, සිත් පහන් සුපහන් කරලන අද්විතීය කලා නිර්මාණයන් ද සිදු කළහ. අනුරපුර, පොළොන්නරුව වැනි පෞරාණික පූජ්‍යස්ථානයන්හි අදටද එකී කලා නිර්මාණ වල සුන්දර බව, අභිමානවත් බව ශේෂවී ඇත. නීල අහස් ඉම කරා උස්ව නැඟී ගත් මහා දාගැබ්, මහා සමුදුරු පරයන සරැලි දියරැලි නංවන මහාවාපි,අනූපමේය වූ මහා කරුණා, මහා ප්‍රඥා ගුණ දහරාවන්, මූර්තිමත් කරමින්, අජීවී කලුගලට පණ පොවා තැනූ ශෛලමය මහා බුද්ධ ප්‍රතිමාද ඊට කදිම නිදසුන් ය.                        මෙම මාහැඟි කලා නිර්මාණයන් සිදු කළේ සාමාන්‍ය මිනිසකු නොව අදිසි බලවේගයක මෙහෙයවීමෙන් බව හෙළ ජන

𝚃𝚑𝚎 𝚖𝚎𝚗𝚝𝚊𝚕 𝚠𝚘𝚛𝚕𝚍

ලෝකයේ ජීවත් වන සෑම මනුශ්‍යයකුටම තමාට ආවේණික වූ භෞතික නොවන මනෝ ලෝකයක් පවතී . මෙම මනෝ ලෝක නිර්මිතයට තමා දකින , කරන , කියන හා අත්විදින ලද ජීවන අත්දැකීම් මෙයට පාදක වේ . ඒ අනුව මමද මගේ භෞතික ලෝකයෙන් පරිභාහිරව යථා ලෝකයත් මනෝ ලෝකයත් අතර දෝලනය වෙමින් , දකින , කරන , ජීවන අත්දැකීම් හා සිතෙහි හටගත් චෛතසිකයන් මගින් මාගේ මන:කල්පිත වූ මනෝ ලෝකය නිර්මාණය කරගෙන ඇත . මා චිත්‍රණය කරන ලද සිතුවම් වලින් මනෝ ලෝකය තුල අත්විදින ලද සුන්දරත්වයත් , කටුක බවත් පෙන්වීමට උත්සහ දරා ඇත . 💛 𝚃𝚑𝚎 𝚖𝚎𝚗𝚝𝚊𝚕 𝚠𝚘𝚛𝚕𝚍, 𝙰𝚌𝚛𝚢𝚕𝚒𝚌 𝚘𝚗 𝚌𝚊𝚗𝚟𝚊𝚜, 𝙿𝚊𝚒𝚗𝚝𝚒𝚗𝚐 𝚜𝚝𝚞𝚍𝚒𝚘 𝚙𝚛𝚘𝚓𝚎𝚌𝚝, 𝙳𝚎𝚙𝚊𝚛𝚝𝚖𝚎𝚗𝚝 𝚘𝚏 𝚙𝚊𝚒𝚗𝚝𝚒𝚗𝚐, 𝟸𝟶𝟸𝟹.𝟶𝟼.𝟹𝟶